|
|
|
|
|
|
|
|
|
හැඳින්වීම ශ්‍රී ලංකාවේ මධ්‍ය ප්‍රදේශය ලෙස සැලකෙන මාතලේ දිස්ත්‍රික්කය විශාලත්වයෙන් ව.කි.මී. 1993.9 කින් සමන්විත වේ. මධ්‍යම පලාතේ උතුරු කොටස නියෝජනය කෙරෙන මාතලේ දිස්ත්‍රික්කය නැඟෙනහිර දේශාංශ 80º 28” , සිට 80º 59” දක්වා හා උතුරු අක්ෂාංශ 7º 24” සිට 8º 01” දක්වා පැතිර පවතී. උතුරින් අනුරාධපුරය ද නැඟෙනහිරින් පොලොන්නරුව, බදුල්ල හා අම්පාර ද දකුණින් මහනුවර ද බටහිරින් කුරුණෑගල ද යන දිස්ත්‍රික්ක වලින් මායිම් වන මාතලේ, දිවයිනේ ස්වාභාවික සම්පත් වලින් අනූන ප්‍රදේශ වලින් එකකි. ලොව අති විශිෂ්ඨ නිර්මාණයක් වූ සීගිරිය ද, සොබාදහමේ අපූර්වතම දායාදයක් වන නකල්ස් කඳුවැටියද පිහිටි මෙම දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 11 ක් පුරා විහිදුනු ගම්මාන 1373 කින් සමන්විත 471,000 (2006) ක ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි.
භූගෝලීය පසුබිම ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ උතුරු අර්ධය නිරූපනය කරන මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටීම හා භූගෝලීය කරුණු මිණුම් දෙපාර්තමේන්තුවේ මැනුම් සිතියමේ (පරිමාණය 1 : 63360) දඹුල්ල, නාලන්ද, කුරුණෑගල, පොලොන්නරුව, ඇළහැර හා රංගල යන අඟලේ සිතියම් වලින් නිරූපනය කෙරේ. දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිත ප්‍රදේශ, ඒකකයක් වශයෙන් ගත් කල මූලික පාෂාණ වර්ගය චානොකයිට්ය. මෙම මූලික පාෂාණ වර්ගය කාලයක් ගතවීමේදි පෘථිවි අභ්‍යන්තරයේ ඇතිවන නොයෙක් බලපෑම් මත උඩු නැමි, විභේද හා යටි නැමි වලින් සංකීර්ණ ව්‍යුහ සාදයි. මෙම ලක්‍ෂණ නකල්ස් කඳු වැටිය ආශ්‍රිතව දැකිය හැක. මාතලේ දිස්ත්‍රික්කයේ නැඟෙනහිර සීමාවේ පිහිටි මහවැලි නිම්නය අසල ප්‍රදේශය භූ වර්ගීකරණයට අනූව විජයන් ශ්‍රේණියට අයත් වේ. මහවැලි ගඟේ පිටාර තැන්නක් වන මෙම කලාපයේ විශේෂයෙන්ම අවසාදිත දියළු පස් තැන්පත්ව පවතී. මාතලේ දිස්ත්‍රික්කයේ භූ විෂමතාවය සැලකීමේදී එය ප්‍රධාන කොටස් 3 කට බෙදා දැක්විය හැක. 1 . උතුරු දිග තැන්න 2 . මාතලේ ද්‍රෝණිය හා නකල්ස් ප්‍රදේශය 3 . ලග්ගල සමාන්තර හෙල්වැටි උතුරු දිග තැන්නට සාමාන්‍යයෙන් දඹුල්ල, ගලේවෙල, පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ අයත් වේ. තැන් තැන් වල උස් කඳු හා ශේෂ කඳු වලින් පිරුණු මෙම ප්‍රදේශය සාමාන්‍යයෙන් තැනිතලාවක් හා රළු බිමක ලක්‍ෂණ පෙන්වයි. මෙම ප්‍රදේශයේ පිහිටි ශේෂ කඳු අතර සීගිරිය, දඹුල්ල, බේලියකන්ද පුරාණයේ සිට ප්‍රසිද්ධියක් උසුලයි. මෙම තැනිතලාව සාමාන්‍යයෙන් අඩි 500 - 1000 ත් අතර උන්නතාංශයක් පෙන්වයි මාතලේ ප්‍රදේශය ද්‍රෝණියක් ලෙස භූ විද්‍යාත්මකව පෙන්වා දිය හැක. එයට ප්‍රධාන හේතුව කඳු වලල්ලකින් මාතලේ නඟරය වටවී තිබීමයි. නකල්ස්, ගුරුළුහෙල පන්සලතැන්න, ඕවිල්කන්ද හා හුන්නස්ගිරි කඳුවැටියෙන් වටවී ඇති මාතලේ නඟරය ආශ්‍රිත ප්‍රදේශ මෙසේ ද්‍රෝණියක පිහිටයි. මෙම ප්‍රදේශයේ භූ ලක්‍ෂණ සංකීරෟණ කරවමින් ගලා බසින ගංගාව සුදු ගඟ වේ. රත්තොට හරහා නැඟෙනහිර දෙසට යනවිට රළු භූ විෂමතාවයක් දක්වන නකල්ස් කඳු වැටිය හමුවේ. මුදුන් පහකින් සමන්විත මෙම වැටියේ සාමාන්‍ය උන්නතාංශය අඩි 4000 ක් පමණ වේ. නකල්ස් කඳු වැටියේ නැඟෙනහිර බෑවුමේ පිහිටි කැපී පෙනෙන ලක්‍ෂණයකි, ලග්ගල සමාන්තර හෙල්වැටි කලාපය. නකල්ස් වැටියේ සිට ලග්ගල ප්‍රදේශයට සමාන්තරව උතුරු දෙසට විහිදෙන හෙල්වැටි තුනකින් මෙම කලාපය සමන්විත වේ. මින් එක් වැටියක් නකල්ස් හි තෙළඹුගල සිට වස්ගමුව දක්වා ද, දෙවැනි වැටිය නකල්ස් හි වමාරපුගල සිට රණමුරේ හරහා අඹන්ගඟ දක්වා ද විහිදෙන අතර තෙවැනි වැටිය රඹුක්ඔළුව ප්‍රදේශයේ සිට ලග්ගල උඩසිය පත්තුව දෙසට විහිදෙයි. වනාන්තර ව්‍යාප්තිය ද සංකීර්ණය. එහි මධ්‍ය නිරිත හා බටහිර ප්‍රදේශ කඳුකර තෙත් කලාපීය වනානතර ද, නකල්ස් හි නැඟෙනහිර ප්‍රදේශ කඳුකර වියළි කලාපීය වනාන්තර ද, උතුරු හා ලග්ගල, විල්ගමු ප්‍රදේශ පහතරට වියළි කලාපීය වනාන්තර වලින් ද සමන්විත වේ. ප්‍රධාන මෝසම් සුලං දෙක මඟින්ම වර්ෂාව ලැබුවත් වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ ඊසානදිග මෝසම් සුලං මඟිනි. ප්‍රදේශයේ ඛනිජ සම්පත් සැලකීමේදී ලග්ගල, කළුගඟ හා හත්තොට අමුණ මැණික් ද, වාරියපොල හා කයිකාවල මයිකා නිධි ද, තලාගොඩ හා ඕවල පිඟන් නිෂ්පාදනයට භාවිතා කරන පෙල්ස්පාර් ඛනිජ නිධි ද වැදගත් වේ. තවද හුණු හා කළුගල් කර්මාන්තය ද මහා පරිමාණ වශයෙන් සිදුකෙරේ. දේශගුණය වාර්ෂික වර්ෂාපතනය - මි. මි. 1659 අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 23 උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 31
|
|
|
|
|
|
|
|
|
|
|
|