ශ්‍රී ලංකාවේ නිරිත දෙසින් පිහිටි රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටීම, ඓතිහාසික හා භූගෝලීය වශයෙන් එහි වාසය කරන ජනතාවගේ පැවැත්මට හා ආර්ථික වර්ධනයට බෙහෙවින් බලපා තිබේ. උතුරැ අක්ෂාංශ 6 සිට 7 අතර ද නැගෙනහිර දේශාංශ 80 සිට 81 අතර ද පිහිටි රත්නපුර දිසිත්‍රික්කය වර්ග ප්‍රමාණයෙන් වර්ග කිලෝ මීටර් 3,275.4 කි. මෙම දිස්ත්‍රික්කය උතුරින් කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක ද, දකුණින් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන් ද, බටහිරින් කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන් ද, නැගෙනහිරින් බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක වලින්ද මායිම් වී ඇත.
දැනට සොයා ගෙන ඇති පුරා විද්‍යාත්මක සාධක අනුව පැරණිතම මිනිසා එනම් බලංගොඩ මානවයා පිළිබද පාෂාණභූත ඇටසැකිලි සොයා ගෙන ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටදොඹ ලෙන හා බෙල්ලන් බැදි පැළැස්ස වැනි ස්ථාන වලිනි. අනුරාධපුර යුගයේ ඇතැම් ස්ථාන වලින් ලැබුණු බ්‍රහ්මී අක්ෂර ගණයට වැටෙන අක්ෂර වලින් යුතු සෙල්ලිපි මෙම ප්‍රදේශයෙන් ද සොයා ගෙන ඇති අතර ඇඹිලිපිටිය කල්තොට ප්‍රදේශවලින් ලැබුණු අනෙකුත් නටඹුන් වලින්ද රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති ඓතිහාසික වටිනාකම පැහැදිලි වේ.
මහනුවර යුගය වන විට රත්නපුර දිස්ත්‍රික්කය කෝරළ 6 කට බෙදී තිබූ බව පෙනේ. ඒවා නම් කුරැවිට, නවදුන්, අටකලන්, කුකුළු, කඩවත්මැද හා කොලොන්න කෝරළය වේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කොඩිය කසාවන් මුතු පාට කොඩියකි. සබරගමුවේ පුරාණ කොඩියෙන් සකස් කර ගන්නා ලද මෙහි විසිතුරැ රතු දාරයක් ද, කසාවන් පිටුතලයක් ද ඇත්තේය. කසා වර්ණය සමන්ත කූඨාධිපති සමන් දිව්‍ය රාජයාණන්ට කැප කරන ලද වර්ණය වේ.